GuidePedia

10

කොහොමද ඉතින් කට්ටියට........!


අද මාතෘකාව ඇවිල්ලා ටිකක් වැදගත් එකක්, මොකද හැමෝම වගේ හරියට තේරුම් ගන්නේ නැති වචන 2ක් තමා මේ 'ධාරාවයි' , 'වෝල්ටීයතාවයයි' කියලා කියන්නේ. ඉතින් දැන් මේ වචන දෙකෙන් අද මම මුලින්ම "වෝල්ටීයතාවය" ගැන කතා කරන්නම්කෝ...



වෝල්ටීයතාවය (Voltage)


මේ වචනේ නම් ගොඩක් කට්ටිය අහලා ඇති කියලා මම හිතනවා. ඉතින් මේ වෝල්ටීයතාවය කියන එක අපි විභව අන්තරය,විභව වෙනස,.. ආදී එකිනෙකට සමාන වචන කිහිපයකින්ම හදුන්වනවා.
ඉතින් මේ වෝල්ටීයතාවය කියනදේ මැනීමට අපි 'වෝල්ට්' (V) කියන සම්මත ඒකකය භාවිතා කරනවා. උදාහරණයකට අපේ ගෙදර වෝල්ටීයතාවය 230V කියලා අපි කියනවා, නමුත් ඇත්තටම මොකක්ද මේ 230V කියන එකෙන් අදහස් කරන්නේ. ඒගැන තමා මං දැන් මේ කතා කරන්න යන්නේ. ඕගොල්ලෝ හොදින් අහගෙන ඉන්නකෝ..

වෝල්ටීයතාවය නැතිනම් 'විභව අන්තරය' කියලා කියන්නේ "විද්‍යුත් ධාරාවක් ගලායාමට අවශ්‍ය කරන විද්‍යුත් පීඩන වෙනසටයි."
හරි දැන් මම මේ කිවුව එක ගැන පොඩ්ඩක් විමසලා බලමුකෝ.

විද්‍යුත් ධාරාවක් කියලා කියන්නේ ඍණ(-) ආරෝපණ සහිත ඉලෙක්ට්‍රෝන අංශු සමූහයකටයි. ඉතින් මේ ඉලෙක්ට්‍රෝන ටික එක තැනකින් තවත් තැනකට යන්න නම් ඒක තල්ලු කරන්න ඕනේ නේද? ඉතින් මේ ඉලෙක්ට්‍රෝන ටික තල්ලු කරන්න අවශ්‍ය කරන 'විද්‍යුත් පීඩනය' තමා  වෝල්ටීයතාවය කියලා කියන්නේ.

විද්‍යුත් පීඩනය


'විද්යුත් පීඩනය' කියලා කියන්නෙත් වෝල්ටීයතාවයට තමා, ඒක ඇවිල්ලා විදුලියේ ඇතිවන පීඩනය. (නැතුව එදිනෙදා ජීවිතයේ හමුවන පීඩනය නෙමෙයි) ඒත් පීඩනයක් නිකන් ඇතිවෙන්නෙ නෑනේ. ඒකට මොකක් හරි විභවයක් නැතිනම් බරක් තියෙන්න ඕනනේ. ඉතින් ඒවගේ විද්‍යුත් පීඩනයත් ඇතිවෙන්න අවශ්‍ය කරන බර නැතිනම් විභවය ඇතිවෙන්නේ ඒ අදාල විද්‍යුත් ප්‍රභවයේ (බැටරියේ) තියෙන ඉලෙක්ට්‍රෝන අංශු ප්‍රමාණයෙන්ම තමා. ඒකත් හරියට වතුර ටැංකියක ඇති ජලය ගලායාමට අවශ්‍ය කරන මූලික පීඩනය ලැබෙන්නේ ටැංකියේ තියෙන වතුර ප්‍රමාණය නිසා ඇතිවන විභව ශක්තියෙන්මනේ. මේකත් ඒවගේ තමා.. නමුත් පීඩනයක් තිබ්බ පලියට විදුලිය හෝ ජලය තියා මොකක්වත් ගලායන්නේ නෑනේ. මොකද ඒකට 'පීඩන වෙනසක්' ඕනේ. ඉතින් ඔය මේ දවස්වල ඉහල වායූ ගෝලයේ කැලඹීමක්, පීඩන අවපාතයක් කියලා එහෙම කියනවා ඇහෙන්නේ. හරි ඒවායින් වැඩක් නෑනේ 'විද්‍යුත් පීඩන වෙනස' කියන්නේ මොකක්ද කියලා බලමුකෝ..

විද්‍යුත් පීඩන වෙනස


බැටරියක (විද්‍යුත් ප්‍රභවයක) 'විද්‍යුත් පීඩනය' කියන දේ ඒ බැටරිය පුරාම ඒකියන්නේ බැටරියේ ධන ඍණ කියන අග්‍ර දෙකේම සමානයි නම්, ඒතුලින් විද්‍යුත් ධාරාවක් ගලායයිද?

කොහෙත්ම නෑ.. මොකද ඒ පීඩනයේ එකිනෙකට වෙනසක් නැත්නම් කිසිම දෙයක් චලනය වෙන්නේ නෑ. මේ නිසා මොනයම් හෝ දෙයක් චලනය වෙනවනම්, ඒක චලනය වෙන්නේ පීඩනය වැඩි තැන ඉදලා පීඩනය අඩු තැනට. ඒක ඉතින් කොයිදේටත් පොදුයි. 
උදාහරණයකට අපිගමුකෝ ජල ටැංකියක් අපි ටැංකියකට වතුර පිරෙවුවාම, ඒ ටැංකියේ තියෙන වතුර ප්‍රමාණය නිසා ටැංකිය තුල පීඩනයක් ඇතිවෙනවා කියලා දන්නවනේ. ඒත් එහෙමයි කියලා අපි පොළොව මට්ටමේ තියලා ටැංකියෙන් වතුර ගන්නේ නෑනේ. එහෙම වතුර ගත්තත් වතුර පොඩ්ඩනේ එන්නේ. ඉතින් ඒකට අපි මොකද කරන්නේ ටැංකිය පොළොව මට්ටමේ ඉදලා උස තැනකින් තියනවා. එතකොට පොළොව මට්ටමේ තියෙන පීඩනයත්, උඩින් තියෙන ටැංකියේ පීඩනයත් එකිනෙකට අසමාන (වෙනස්) වෙනවා. ඒනිසා අපිට පුළුවන් ටැංකියේ තියෙන ජලය ආයාසයකින් තොරව අපේ අතට ගන්න.

ඒවගේ බැටරියෙත් ධන ඍණ යන අග්‍ර දෙකේම විද්‍යුත් පීඩනය සමාන වුනොත්, ඇතුලේ තියෙන ඉලෙක්ට්‍රෝන සේරම එලියට ගන්න බෑනේ. ඒනිසා අපි වතුර ටැංකියට කලා වගේ, බැටරියෙ තියෙන ඉලෙක්ට්‍රෝනත් එක තැනකට ගොඩගහනවා. ඒකියන්නේ බැටරියේ තියෙන ඉලෙක්ට්‍රෝන වැඩි ප්‍රමාණයක් ඍණ(-) අග්‍රය දෙසට ගොඩගහනවා. මේනිසා බැටරියේ 'විද්‍යුත් පීඩනයත්' අසමාන වෙනවා, එවිට පහසුවෙන් (-) අග්‍රයේ සිට (+) අග්‍රය කරා ඉලෙක්ට්‍රෝන තල්ලු වී ගමන් කිරීම සිද්ධවෙනවා. ඒකත් හරියට සිලින්ඩරයක් ඇතුලේ තියෙන වතුර පිස්ටනයක් ආධාරයෙන් එක පැත්තකට තල්ලු කරනවට සමානයි.

ඔන්න ඉතින් කොහොම හරි වෝල්ටීයතාවය ගැන කියන්න ගිහින් ලොකු හෑල්ලක්ම දිගහැරියනේ.. ඔය උඩ තියෙන සමහර දේවල් තේරෙන්නේ නැතිවුනාව බය වෙන්න එපා. ඕවා කාලයත් එක්ක නිකම්ම තේරෙනවා. ඕගොල්ලන්ට ඕකෙන් මතක් තියාගන්න තියෙන්නේ, වෝල්ටීයතාවය කියලා කියන්නේ, "විද්‍යුත් ධාරාවක් ගලායාමට අවශ්‍ය කරන විද්‍යුත් පීඩනයටයි" කියලා කියන එක විතරයි.

හැබැයි මෙහෙම දෙයකුත් තියෙනවා මොකද, ඉහත සදහන් කරලා තියෙන 'වෝල්ටීයතාවය' ගැන කතාකරපු දේවල් මම සරල ධාරාවත් එක්ක සංසන්දනය කරලා තමා ලියලා තියෙන්නෙ. ඒක නිසා සමහර දේවල් ප්‍රත්‍යාවර්ත ධාරාවත් එක්ක ගැලපෙන්නෙ නැතිවෙන්න පුළුවන්,
ඒත් ඒක එච්චර හිතන්න දෙයක් නෙමෙයි..  'AC Current'  හා  'DC Current'  කියන්නේ එකිනෙකට වෙනස් විද්‍යුත් ධාරා වර්ග දෙකක්නේ. ඕකෙන් අපිට Electronic වලට ගොඩක් වැදගත් වෙන්නේ. සරල ධාරාවනේ....  නේද,   හරි දැන් ඒක ඉවරයි, දැන් අපි වෝල්ටීයතාවය ගැන තව කරුණු ටිකක් දැනගමුකෝ..........

වෙනත් කරුනූ


  1. යම් 'විද්‍යුත් ප්‍රභවයක' වෝල්ටීයතාවක් නැත්නම් එතැන ධාරාවක් ගලායාමත් සිද්ධවෙන්නේ නෑ. ඒකයි හොදටම බැහැපු බැටරියක වෝල්ටීයතාවය 0V වෙන්නේ.
  2. එවගේම ඕගොල්ලො 12V, 1.5V, 6V  කියන ඒවා අහලා තියෙනවනේ. ඉතින් ඔය වෝල්ට් අගයන් තියෙන බැටරියක් ගත්තොත් ඒඅගය තියෙන්නේ ඒ බැටරියේ ධන(+) අග්‍රයේනේ. එතකොට ඍණ(-) අග්‍රයේ තියෙන්නේ වෝල්ට් කීයද?  0V නේ.
  3. යම් බැටරියක ධන(+) අග්‍රයේ ඇති වෝල්ට් අගයත් 0V වූන වෙලාවට අපි එම බැටරිය සම්පූර්ණයෙන්ම බැහැපු (විසර්ජනය වූ) බැටරියක් ලෙස සලකනවා.
  4. යම් උපකරනයකට හෝ උපාංගයකට විදුලිය සැපයීමේදි, ලබාදෙන වෝල්ටීයතාවය පිලිබදව සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද, 'විද්‍යුත් පීඩනය' (වෝල්ට් අගය) වැඩිපුර ලබා දුන්නොත්, එම උපකරණය හරහා වැඩි ධාරාවක් ගලා ගොස් එම උපකරණයට හානී සිද්ධවෙන්න පුළුවන්..
  5. යම් උපකරනයක හෝ උපාංගයක යම් වෝල්ට් අගයක් සදහන් කර ඇත්නම් එයින් කියවෙන්නේ. එම උපාංගය නිසි පරිදි ක්‍රියාත්මක වීම සදහා එය ඔරොත්තු දෙන උපරිම විද්‍යුත් පීඩන ප්‍රමාණය හා එයට හොදින් ක්‍රියාත්මක වීමට අවශ්‍ය අවම විද්‍යුත් පීඩන ප්‍රමානයයි.
  6. යම් 'විද්‍යූත් ප්‍රභවයක' (බැටරි, power pack) සදහන් කර ඇති වෝල්ට් අගයෙන් කියවෙන්නේ එයින් පිටතට ලබාදිය හැකි උපරිම විද්‍යුත් පීඩන ප්‍රමාණයයි. ඒත් ගොඩක් බාල Power Pack වලින්, ඒකේ ලියලා තියෙන ගානට වඩා වැඩි වෝල්ට් අගයක් එනවා කියන එකත් මතක තියාගන්න.

ඔන්න ඉතින් ගොඩක් අනංමනං දේවල් කියලා ඉවරවුනා. මම වෝල්ටීයතාවය ගැන කතා කලාට 'විද්‍යුත් ධාරාව' ගැන කතා කලේ නෑනේ. මොකද ඒකට අද ලිපියේ ඉඩ මදි වගේ. ඒක එහෙනම් ලබන සතියෙ සෙනසුරාදා ට පල කරන්නම්කෝ.
ඉතින් මගේ ලිපිය බලලා ඕගොල්ලන්ගේ අදහස්,යෝජනා,චෝදනා Comment එකක් තුලින් ඉදිරිපත් කරලා මාව දිරිමත් කරන්නකෝ.


තවත් ලිපියකින්  නැවත හමුවෙමු..!

Post a Comment

  1. honda lipiyak :b digatama liyanna :t

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයක් දැක්වුවාට ස්තූතියි...

      Delete
  2. අපිට දැනුම බෙදන ඔබේ දැනුම තව තවත් වර්ධනය වේවා

    ReplyDelete
  3. එල ඇ.. Thank you.. මාත් හොය හොය හිටි වෙලාවක වෙලාවට හම්බුනේ.. :D

    ReplyDelete
    Replies
    1. එල එහෙනම් ලගදීම අලුත් Post එකක් දාන්නම්කෝ......

      Delete
  4. මම A/l technology student කෙනෙක් මම මේ ලිපියෙන් දෙයක් ඉගනගත්තා. ඉතින් මේ ලිපිය මහන්සියෙන් කරුනු එකතු කරල ලියල හැමෝටම බලන්න පුලුවන් විදියට දාපු ඔයාට ගොඩක්ම ස්තූතියි.

    ReplyDelete
  5. //එවගේම ඕගොල්ලො 12V, 1.5V, 6V  කියන ඒවා අහලා තියෙනවනේ. ඉතින් ඔය වෝල්ට් අගයන් තියෙන බැටරියක් ගත්තොත් ඒඅගය තියෙන්නේ ඒ බැටරියේ ධන(+) අග්‍රයේනේ. එතකොට ඍණ(-) අග්‍රයේ තියෙන්නේ වෝල්ට් කීයද?  0V නේ.//
    මේ කොටස නිවැරදි නෑ නේද? මම දන්න තරමින් බැටරියක සඳහන් වෝල්ටීයතා අගයෙන් කියවෙන්නේ ධන හා සෘණ අග්‍ර අතර විභව අන්තරය.එක් අග්‍රයක විභවය 0යි කියලා ස්ථිරවම කියන්න බෑ.
    මං වැරදි නම් කියන්න.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...
 
Top