විදුලියේ ප්‍රභේද - සරල ධාරාව (DC)

ආපු කට්ටියට සුභ දවසක් වේවා!

ඔන්න ඉතින් අද Post එකෙන් මං කතා කරන්න යන්නේ ටිකක් වැදගත් මාතෘකාවක් ගැන. ඒතමා  අද කාලේ ජීවත් වෙන කොයි කාටත්  නැතුවම බැරි විදුලිය ගැනයි. ඉතින් අපි විදුලිය කියලා කියන්නේ එක්තරා ශක්ති විශේෂයකටයි. මේ ශක්ති විශේෂයේදි සිද්ධවෙන්නෙ ඉලෙක්ට්‍රෝන එක් ස්ථානයක සිට තවත් ස්ථානයක් කරා ගලායාමයි. ඉතින් මේ ඉලෙක්ට්‍රෝන ගලායන ආකාරය අනුව විදුලිය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා එනම්,


  1. සරල ධාරාව - DC
  2. ප්‍රත්‍යාවර්ථ ධාරාව - AC
යන කොටස් දෙකයි. ඉතින් මේ වර්ග දෙකෙන් අද මම කතා කරන්න බලාපොරොත්තු  වෙන්නෙ 'සරල ධාරාව' පිලිබදවයි. දැන් අපි ඒ ගැන කතා කරමු.


සරල ධාරාව (Direct Current)


'සරල ධාරාව' කියලා කියන්නේ අඛණ්ඩව එක් දිශාවකට පමණක් ඉලෙක්ට්‍රෝන ගලායාම සිදුවන විදුලි ප්‍රභේදයකටයි. මේ නිසා සරල ධාරාවේදි විද්‍යුත් ආරෝපණ ගලායාම සිදුවන්නේ එක් දිශාවකට පමනයි.
සරල ධාරාව අපි ඉංග්‍රීසියෙන් Direct Current ලෙස හදුන්වනු ලබනවා, එය අපි භාවිතයේ පහසුව සදහා කෙටි කර 'DC' යන කෙටි නාමයෙන් හදුන්වනු ලබනවා.

සරල  ධාරාවේ (+) ධන හා (-) ඍණ වශයෙන් විදුලිය ගෙනියන රැහැන් වර්ග දෙකක් පවතින අතර මෙයින් (+) විදුලිය ගෙනියන රැහැන සදහා රතු පැහැති වයරයක්ද, (-) විදුලිය ගෙනියන රැහැන සදහා කළු පැහැති වයරයක්ද සාමාන්‍ය භාවිතයේදි යොදාගන්නවා.

සරල ධාරාවේ තරංගමය ස්වරූපය අපි දෝලනේක්ෂයක් ආධාරයෙන් ලබාගත්විට එය දැක්වෙන්නෙ පහත ප්‍රස්ථාරය පරිදිය.

මෙහිදි ඔබට දැකගන්න පුලුවන් සරල ධාරාව ප්‍රධාන අක්ෂයට සමාන්තරව කාලයත් සමග ඉදිරියට ගමන්කරන ආකාරය. එවගේම සරල ධාරාව ප්‍රස්තාරයේ (+) කලාපය තුලම නිශ්චිත විභව අන්තරයකින් යුතුව පවතින අතර, එය (-) කලාපය වෙත ගමන් කිරීමක් සිදුනොවේ. අන්න ඒ නිසයි අපි සරල ධාරාව (+) ධන ,(-) ඍණ දිශා මාරුනොවී එක් දිශාවකට පමණක් ගමන්කරන ධාරාවක් ලෙස හදුන්වන්නේ.
පහතින් ඔබට දැකගන්න පුලුවන් සරල ධාරාව නිරූපණය කිරීම සදහා අපි යොදාගන්නා පරිපථ සංකේතය
සරල  ධාරාව නිරූපණය කරන පරිපථ සංකේතය
මේ පරිපථ සංකේතය දැක්කම ඕගොල්ලන්ට පේන්න ඇති මේකේ ඉහලින් තනි ඉරක්, හා පහලින් කඩ ඉරි පෙලක් දක්නට ලැබෙන බව. ඉතින් මේ සංකේතයේ තියෙන තනි ඉර මගින් (+) ධන විදුලියත්, කඩ ඉරි මගින් (-) ඍණ විදුලියත් සංකේතවත් කරනවා.
එහෙනම් දැන් අපි සරල ධාරා ප්‍රභවයන් ගැනත් ටිකක් කතාකරමූකෝ.

සරල ධාරා විද්‍යුත් ප්‍රභවයන්

සරල ධාරා විද්‍යුත් ප්‍රභවයක් කියලා කියන්නේ සරල ධාරා විදුලියක් පිටකරන දේවල් වලටයි. මේ සදහා අපිට දෙන්න පුළුවන් හොදම උදාහරණය ලෙස අපේ ගෙවල්වල එදිනෙදා පාවිච්චි කරන කුඩා බැටරි වර්ග දක්වන්න පුළුවන්. ඒවා තුල අඩංගු රසායනික ද්‍රව්‍ය මගින් සිදුවන ප්‍රතික්‍රියා තුලින් තමා මේවායින් විද්යුත් ධාරාවක් නිකුත්වෙන්නෙ.
එවගේම මෝටර් රථ සදහා භාවිතා කරන නැවත ආරෝපණය කලහැකි බැටරි වර්ග සහ සූර්ය කෝෂ යනාදියද සරල ධාරා විද්යුත් ප්‍රභවයන් වලට නිදසුන් ලෙස දක්වන්න පුළුවන්. 
තවද අපේ ගෙවල් වලට ලැබෙන ප්‍රත්‍යාවර්ථ ධාරා විදුලියද අපට ජව ඇසුරුම් (Power Pack), චාජර් (Charger) වැනි උපකරණ භාවිතා කොටගෙන සරල ධාරාවක් බවට හරවා ප්‍රයෝජනයට ගන්න පුලුවන්.

හරි දැන් ඉතින් අපි බලමු සරල ධාරා බල සැපයුමක් පරිපථයකදි දැක්වීමට යොදන පරිපථ සංකේතය මොනවගේද කියලා.

ඔය උඩ තියෙන සංකේතයේ '5V DC' කියලා තියෙන එකේ තේරුම තමා ඔය තියෙන බල සැපයුමෙන් 5V පමණ විභව අන්තරයක් සහිත සරල ධාරාවක් ලබාදෙනවා කියන එකයි.

සරල ධාරාවේ විද්‍යුත් ආරෝපණ ගලායන අයුරු


ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයේ තිබෙන සෑම විද්යුත් උපාංගයක්ම පාහේ ක්‍රියාත්මක වීමට සරල ධාරා විදුලිය අවශ්‍ය වෙනවා. ඒ මොකද කියනවනම්  සරල ධාරා විදුලියේ පවතින එක් දිශාවකට පමණක් විදුලිය ගලායන නැතිනම් (+) ,(-) මාරුනොවී ඒකාකාරීව විදුලිය ගලායාමේ ස්වභාවය මෙම විද්‍යුත් උපාංග නිසිපරිදි ක්‍රියාත්මක වීමට හේතු වෙනවා.

ඉතින් දැන් අපි බලමු මේ සරල ධාරා විදුලියේදි විද්‍යුත් ආරෝපණ ගලායාම සිදුවන්නෙ කොහොමද කියලා?. මේගැන නම් මම මීට කලින් ලිපියකිනුත් පොඩ්ඩක් කතා කරලා තියෙනවනේ ඕගොල්ලෝ ඒක බැලුවෙ නැත්නම්  මෙතනින්  ගිහින් ඒක බලන්නකෝ.

හරි එහෙනම් දැන් ඉතින් වැඩේට බහිමුකෝ. සරල ධාරාවේදි සිද්ධවෙන්නෙ (-)ඍණ ආරෝපණ සහිත ඉලෙක්ට්‍රෝන අංශු, (+) ආරෝපණ සහිත ප්‍රදේශයකට ගමන් කිරීමයි. ඒ කියන්නේ බැටරියක (-) අග්‍රයේ තියෙන ඉලෙක්ට්‍රෝන, බැටරියේ (+) අග්‍රය කරාගමන් කරනවා කියන එකයි. නමුත් ඒක නිකන් සිද්ධවෙන්නෙ නෑනේ. මොකද බැටරියේ (+) හා (-) අග්‍ර වෙන්වෙන් වශයෙන්නෙ පිහිටා තියෙන්නේ, ඒනිසා අපි බැටරියේ (+) අග්‍රය හා (-) අග්‍රය වයර් එකක් (සන්නායකයක්) ආධාරයෙන් පහත රූපයේ එකිනෙකට සම්බන්ධ කරන්න ඕනේ.

ඉතින් ඉහත රූපයේ පරිදි  බැටරියකට අපි වයර් එකක් හා බල්බ් එකක් සම්බන්ධ කලාම. බැටරියේ  
(-) අග්‍රයෙන් ඉලෙක්ට්‍රෝන පිටවී ඒවා සන්නායකය දිගේ ගමන්කර,  බැටරියේ (+) අග්‍රය වෙතට යොමුවෙනවා, ඉතින් ඔන්න ඔය විදියට තමා සරල ධාරාවේදි විද්‍යුත් ආරෝපණ ගමන් කරන්නේ.

වැදගත්..!

  • මං දැන් කිව්වනේ සරල ධාරාවේදි විද්‍යුත් ආරෝපණ (-) අග්‍රයේ සිට (+) අග්‍රය කරාගමන් කරනවා කියලා. නමුත් ප්‍රායෝගික භාවිතයේදි සම්මතයක් ලෙස සරල ධාරා විදුලිය ගමන්කරන දිශාව ලෙස සලකන්නෙ (+) සිට (-) දක්වා බව ඕගොල්ලො හොදින් මතක තියාගන්න ඕනේ... 


හරි එහෙනම් අද පාඩම අවසන් කරන්නයි යන්නේ. අද මම කතා කලේ,
  1. සරල ධාරාව
  2. සරල ධාරා විද්‍යුත් ප්‍රභවයන්
  3. සරල ධාරාවේ විද්‍යුත් ආරෝපණ ගලායන අයුරු

    යන කරුණු පිලිබදවයි. මේ ගැන ඔබේ අදහස්, යෝජනා, චෝදනා Comment එකක් තුලින් ඉදිරිපත් කර මාව දිරිමත් කරන්න.

                තවත් ලිපියකින්  නැවත හමුවෙමු..
    Previous
    Next Post »

    2 comments

    Click here for comments
    Chandana
    admin
    September 22, 2014 at 9:40 PM ×

    වටින ලිපි පෙලක් නේ.

    Reply
    avatar
    September 24, 2014 at 4:51 AM ×

    ප්‍රතිචාරයක් දැක්වුවාට ස්තූතියි සහෝ..

    Reply
    avatar
    Related Posts Plugin for WordPress, Blogger...