විද්‍යූත් ජවය, නැතිනම් වොට් අගය(W) ගැන දැනගනිමු..

කොහොමද ඉතින් කට්ටියට..!

කලින් ලිපියෙන් මං ඔයාලට විද්‍යූත් ප්‍රතිරෝධය හා සම්බන්ධ  'ඕම් නියමය'  ගැන තොරතුරු ටිකක් කියාදුන්නනේ. ඉතින් ඒනිසා අද මං කතා කරන්න යන්නේ "විද්‍යුත් ජවය" නැතිනම් ක්ෂමතාවය පිළිබදවයි. දැන් එහෙනම් අපි ඒගැන කතා කරමු..




  විද්‍යුත් ජවය (Electric Power)  


විද්‍යූත් ජවය කියලා කියන්නේ  'වෝල්ටීයතාවය',  'විද්‍යූත් ධාරාව', ' විද්‍යුත් ප්‍රතිරෝධය',  වගේ වැදගත් තවත් එක් රාශියකටයි. 
මේ රාශිය මගින් අපි මනිනු ලබන්නේ, "යම් උපකරණයක් හෝ උපාංගයක් විසින් විද්‍යූත් ශක්තිය වැයකර එමගින් සිදුකරනු ලබන කාර්ය ප්‍රමාණයේ සීග්‍රතාවයයි." 
ඒකියන්නේ අපි යම් උපකරණයකට ලබාදෙන වෝල්ට් හා ඇම්පියර් ප්‍රමාණය භාවිතා කරලා එම උපකරණය විසින් අපිට තත්පරයකට ලබාදෙන කාර්ය ප්‍රමාණයයි. නැතිනම් ජව ප්‍රමාණයයි...

ඉතින් ඕගොල්ලෝ ගොඩක් උපකරණවල 5W, 10W, 100W, 200W.. (මේවායේ W අකුරෙන් සංකේතවත් වන්නේ "වොට්" යන අදහසයි.)
වගේ දේවල් සටහන් කරලා තියෙනවා දැකලා ඇති. මේවායින් කියවෙන්නේ, එම උපකරණය විසින් අපිට ලබාදෙන උපරිම ජව අගයන් ප්‍රමාණයයි.
මෙම ජව ප්‍රමාණය තීරණය වෙන්නේ එම උපකරණය හෝ උපාංගය ලබාගන්නා වෝල්ට් ප්‍රමාණය හා ඇම්පියර් ප්‍රමාණය මතයි.

අපි හිතමු 12V විදුලියෙන් වැඩකරන 5W හා 10W ජවයන් පිටකරන සූත්‍රිකා බල්බ 2ක් තියෙනවා කියලා. ඉතින් අපි මේ බල්බ දෙකට වෙන වෙනම 12V වෝල්ටීයතාවක් සහිත විදුලි සැපයුමක් ලබාදුන් විට 10W බල්බය වැඩි දීප්තියකිනුත්, 5W බල්බය අඩු දීප්තියකිනුත් දැල්වුනා. නේද?.  ඒත් අපි මේ බල්බ දෙකටම ලබාදුන් වෝල්ටීයතාවය සමානයි නේද?. එතකොට ඇයි 10W බල්බයෙන් විතරක් වැඩි ආලෝකයක් නිකුත්වුනේ..
ඒකට හේතුව තමා 10W බල්බය 12Vක වෝල්ටීයතාවය යටතේ වැඩි ධාරාවක් විදුලි සැපයුමෙන් ලබාගැනීමයි. ඒනිසා එම බල්බය වැඩි ආලෝකයක් නිකුත් කරනවා. නමුත් 5W බල්බය 12Vක වෝල්ටීයතාවයක් යටතේ, 10W බල්බය තරම් වැඩි ධාරාවක් විදුලි සැපයුමෙන් ලබාගන්නේ නෑ. ඒනිසා 5W බල්බයෙන් නිකුත්කරන ආලෝක ප්‍රමාණය අඩුවෙනවා..

ඉතින් ඔය විදියටම අපේ නිවෙස් වල තියෙන 230V විදුලියට සම්බන්ධ කරන බල්බ වලත් 5W, 40W, 60W, 100W.. ආදී වශයෙන් විවිධ ජව ප්‍රමාණයන් සටහන් කරලා තියෙනවනේ. ඉතින් මේ සියළු බල්බ අපි සවිකරන්නෙත් 230V විදුලියටමනේ. නමුත් වැඩි 'වොට්'(W) අගයක් සහිත බල්බ වලින් අපිට වැඩි ආලෝකයක් ලැබෙන අතරම, වැඩි විදුලි ධාරාවකුත් ඒසදහා වැයවෙනවා..  ඒවගේම අඩු වොට්(W) අගයක් සහිත බල්බ භාවිතකිරීමේදි එමගින් අපිට අඩු ආලෝකයක් ලැබෙන අතර, එයට වැයවන විදුලි ධාරා ප්‍රමාණයත් අඩුවෙනවා. කියන එකත් මතක තියාගන්න...

විද්‍යුත් ජවය නැතිනම් 'වොට් අගය' ගැන කතාකරනකොට කොල්ලෝ වන අපිට මතක් වෙන තව දෙයක් තමා Amplifier නැතිනම් "ඈම්ප්" එක කියන්නේ. ඉතින් අපි අහලා තියෙනවනේ 100W, 200W, 500W, 1000W.. වගේ ලොකු ලොකු ජව ප්‍රමාණ නිකුත් කරන ඈම්ප් වර්ග ගැන. ඉතින් ඔය වගේ ලොකු ඈම්ප් වලට 30V, 70V, 90V,.. වගේ වැඩි වෝල්ටීයතා ප්‍රමාණ හා 2A, 5A, 7A,... වගේ ඉහල ප්‍රමාණවල විදුලි ධාරා ප්‍රමාණයන් අවශ්‍ය වෙනවා කියලා ඕගොල්ලෝ දන්නවා ඇතිනේ..

ඒවිදියටම 6V , 9V, 12V,.. වගේ පොඩි වෝල්ටීයතා වලින් හා 0.5A, 1.5A,.. වගේ කුඩා ධාරාවලින් වැඩකරන 5W,8W,10W, 20W,.. වැනි පොඩි ඈම්ප් වර්ගත් ඕගොල්ලෝ දැකලා ඇති. ඉතින් කොහොමහරි මට මේකෙන් කියන්න ඕන වුනේ. වොට් ප්‍රමාණය නැතිනම් 'විද්‍යුත් ජව' ප්‍රමාණය තීරණය වෙන්නේ, ඒ උපකරණය භාවිතා කරන වෝල්ට් ප්‍රමාණය හා ඇම්පියර් ප්‍රමාණය මත බව කියන එකයි..,

ඉතින් ඕගොල්ලොත් නිකමට, ඔයාලා ගාව තියෙන ඈම්ප් එකට දෙන්න ඕනේ උපරිම වෝල්ට් ප්‍රමාණයත්, ඇම්පියර් ප්‍රමාණයත් ගුණ කරලා බලන්නකෝ. ඈම්ප් එකෙන් පිටකරන උපරිම වොට් ප්‍රමාණය කොච්චරද කියලා...

 නිදසුන්.. 

  • 12Vක වෝල්ටීයතාවයක් හා 1.5Aක ධාරාවක් අවශ්‍ය බල වර්ධකයකින් පිටකරන උපරිම ජව ප්‍රමාණය කොපමණද?


වොට් ප්‍රමාණය = වෝල්ටීයතාව × ධාරාව
                     = 12V × 1.5A
                     = 18W 

දැන් අපිට උපරිම වොට් ප්‍රමාණය විදියට 18W කියලා ලැබුනනේ. ඉතින් ඇත්තටම, අපිට හරියටම 18Wක බලයක් ලැබෙනවද? නෑ..
මොකද ගොඩක් වෙලාවට විදුලිය තාපය විදියට හරි, වෙනත් ක්‍රමවලින් හරි අපතේ යනවනේ. ඒනිසා  ගොඩක් වෙලාවට ඒ කියපු උපරිම ජව ප්‍රමාණයම අපිට ලැබෙන්නේ නෑ. ලැබෙන්නේ ආසන්න ප්‍රමාණයක් විතරයි.. 

හොදයි. එහෙනම දැන් අපි විද්‍යූත් ජවය ගැන කරුණු ටිකක් දැනගත්තනේ. ඒනිසා දැන් අපි විද්‍යුත් ජවය මැනීමට භාවිතා කරන සම්මත ඒකකය වන "වොට්" (W) ගැන කතාකරමු..


  වොට්  (watt)   

විද්‍යුත් ජවය නැතිනම් ක්ෂමතාවය කියන රාශිය මැනීමට අපි භාවිතා කරන සම්මත ඒකකය වන්නේ, මෙම "වොට්" කියන ඒකකයයි. ඉතින් මේ "වොට්" කියන ඒකකය සංකේතවත් කරන්න, අපි ඉංග්‍රීසි භාෂාවේ එන කැපිටල් ' W ' අක්ෂරය භාවිතා කරනවා.

"ජේම්ස් වොට්"
ඉතින් මේ විද්‍යූත් ජවය නැතිනම් ක්ෂමතාවය මනින සම්මත ඒකකය "වොට්" කියලා හදුන්වනු ලැබුවේ. හුමාල එන්ජිම නිපදවු 'ජේම්ස් වොට්' නම් විද්‍යාඟඳයාව සිහිවීම සදහායි...

සාමාන්යෙන් වොට් එකක්(1W) කියන්නේ "තත්පරයකට ජූල් එකක(1J) සීග්‍රතාවයකින් කරන කාර්ය ප්‍රමාණයක් හෝ ශක්ති පරිවර්ථන ප්‍රමාණයටයි."
මේකෙන් කියවෙන්නේ, තත්පරයකට ජූල් එකක කාර්යයක් සිදුවෙනවනම් එතන 'වොට් එකක' බලයක් නිකුත්වෙනවා කියන එකයි..

දැන් මං හිතනවා ඕගොල්ලන්ට "වොට්" කියන ඒකකය පිළිබදව සරල වැටහීමක් ලැබෙන්න ඇති කියලා.
ඉතින් වොට් කියන සම්මත ඒකකයට අමතරව තිබෙන අනෙකුත් උප ඒකක අතර ඇති සම්බන්ධයන් ටිකකුත් මං පහලින් දාන්නම්කෝ..

   1GW =  1000MW
1MW = 1000kW
1kW = 1000W
     1W = 1000mW
  1mW = 1000µW
   1µW= 1000nW

හරි එහෙනම්, දැන් අපි මේ විද්‍යුත් ජවය ආශ්‍රීත සරල සමීකරණයක් ගැන දළ අවබෝධයක් ලබාගමුකෝ... 


  P = VI සමීකරණය  

සාමාන්යෙන් අපි යම් උපකරණයක් හෝ උපාංගයක් විසින් අපිට ලබාදෙන විද්‍යූත් ජව ප්‍රමාණය අපි ගණනය කරගනු ලබන්නේ. එම උපකරණයට අවශ්‍ය වෝල්ට් ප්‍රමාණයෙත්, ඇම්පියර් ප්‍රමාණයෙත් ගුණිතය මගිනුයි. ඉතින් ඒ ගුණිතය තමා අපි මේ සමීකරණයක් විදියට  P=VI කියලා හදුන්වන්නේ..


වොට් ප්‍රමාණය = වෝල්ටීයතාව × ධාරාව 
                  P = V × I

ඉතින් මේ සමීකරණය තුලින් අපිට පහසුවෙන් විද්‍යූත් ජවයත්, වෝල්ටීයතාවයත්, ධාරාවත් අතර ගණනය කිරීම් කරගන්න පුළුවන් වෙනවා.. 

අපි එහෙනම්, පොඩි උදාහරණයක් අරන්බලමුකෝ..

නිදසුන්...

  • 250V විදුලියට සම්බන්ධ කරන 5W බල්බයකට අවශ්‍ය විද්‍යූත් ධාරා ප්‍රමාණය කොපමණද?

              P = 5W,  V = 250V,  I = ?

                       P    = VI
එබැවින්,       I     = 
                             V
    
                         =   5W  
                         =  250V

                         =  0.02A 

හරි දැන් ඉතින් අපිට උත්තරය විදියට 0.02Aක් ලැබුනනේ.. ඕක තමා ඒ බල්බයට 5Wක ක්ෂමතාවයකින් දැල්වීමට අවශ්‍ය විද්‍යුත් ධාරා ප්‍රමාණය වෙන්නේ.

ඉතින් මේ විදියට වෝල්ටීයතාව, ධාරාව, ප්‍රතිරෝධය, විද්‍යුත් ජවය ආදී ඉලෙක්ට්‍රෝනික් වලට අවශ්‍ය මූලික රාශීන් ගැන ලිපි කිහිපයක් පුරා මං ඕගොල්ලන්ට කිවුවනේ. ඉතින් ඒ, එක් එක් රාශින් එකිනෙකට සම්බන්ධතා දක්වන සමීකරන කිහිපයක් මං පහතින් දක්වනවා. ඕගොල්ලො ඒකත් බලලා ඒ ඒ රාශීන් අතර ඇති සම්බන්ධතා ගැන තව දුරටත් ඉගෙනගන්නකෝ..

ඉතින් එහෙනම් අද ලිපිය නම් අවසානයි. මේ ගැන ඕගොල්ලන්ගේ අදහස්, යෝජ්නා, චෝදනා Comment එකකින් දක්වලා මාව දිරිගන්වන්නකෝ.....
එහෙනම්....,

           තවත් ලිපියකින් නැවත හමුවෙමු...!
Previous
Next Post »

1 comments:

Click here for comments
Anonymous
admin
February 3, 2015 at 12:00 PM ×

:o

Congrats bro Anonymous you got PERTAMAX...! hehehehe...
Reply
avatar
Related Posts Plugin for WordPress, Blogger...