සමාන්තරගතව උපකරණ සම්බන්ධ කරන අයුරු.. (Parallel Circuit)

2

කොහොමද ඉතින් කට්ටියට..!

කලින් ලිපියෙන් මම "ශ්‍රේණිගත පරිපථ" ගැන කතාකලානේ. ඉතින් ඒනිසා අද මං කතාකරන්න බලාපොරොත්තු වෙන්නේ "සමාන්තරගත පරිපථ" පිළිබදවයි. එහෙනම් දැන් අපි ඒගැන කතාකරමුකෝ...

 සමාන්තරගත පරිපථ (Parallel Circuit) 


විදුලි උපකරණ හෝ උපාංග එකිනෙකට සමාන්තරව. එහෙමත් නැතිනම් එක් එක් උපාංගයේ (+)ධන අග්‍ර එක පැත්තකටත්, (-)ඍණ අග්‍ර අනෙක් පැත්තටත් අමුණා සකස් කල පරිපථ තමා අපි මේ "සමාන්තරගත පරිපථ" කියලා හදුන්වන්නේ..


ඉහත රූපයෙන් ඕගොල්ලන්ට බලාගන්න පුළුවන් සමාන්තරගත ආකාරයට සවිකල සූත්‍රිකා බුබුළු 3ක් විදුලි සැපයුමකට සවිකර ඇති ආකාරය. මෙහිදි විදුලි සැපයුමෙන් ලැබෙන මුළු ධාරාව එක් එක් බල්බය කරා වෙන වෙනම බෙදීයනවා. මේනිසා මීට කලින් අපි කතාකරපු "ශ්‍රේණිගත පරිපථ"  වලදී මෙන් මෙහිදි එක් බල්බයක් දැවීගිය විට හෝ එක් බල්බයක් නිවා දැමූ විට අනෙක් බල්බ නිවීයන්නේ නෑ.


මොකද  එක් එක් බල්බයට අවශ්‍ය වන ධාරාව වෙන වෙනම විදුලි සැපයුමෙන් ලබාගන්නා නිසා, එක් බල්බයක් හරහා ගලායන විදුලි ධාරාව නතර වූවා කියා අනෙක් බල්බ වලට ධාරාව ගලායාම නවතින්නේ නෑ...


ඉතින් මේ පරිපථ සම්බන්ධ ක්‍රමයේදි, විදුලි ධාරාව එක් එක් උපාංගය අතරේ බෙදීයන නිසා අපිට පහසුවෙන් එක් එක් උපාංගයට 'ස්විච්' යොදාගෙන, ඒවා අපිට අවශ්‍ය පරිදි වෙන වෙනම නිවීම හෝ දැල්වීම සිදුකරන්න පුළුවන්. එය මෙම පරිපථ සම්බන්ධ කරන ආකාරයේ ඇති වාසියකි. ඒනිසා අපේ ගෙවල් වල ගෘහස්ථ විදුලි පරිපථ නිර්මාණය කරලා තියෙන්නෙත්, මේ විදියටම 'සමාන්තරගත ආකාරයටයි'...

  • සමාන්තරගත ආකාරයට විදුලි උපකරණ සවිකල විට එක් එක් උපාංගයට අවශ්‍ය පරිදි විදුලි ධාරාව බෙදීයන නමුත්, එම උපාංග වලට ලැබෙන වෝල්ටීයතාව බෙදීයන්නේ නෑ. ඒනිසා සමාන්තරගතව සවිකරලා තියෙන සෑම උපාංගයකටම ලැබෙන්නේ, විදුලි සැපයුමෙන් ලැබෙන සැපයුම් වෝල්ටීයතාවයමයි..
  • සමාන්තරගතව විදුලි උපකරණ සවිකල විට එක් එක් උපාංගයට අවශ්‍ය ආකාරයට සැපයුම් ධාරාව බෙදීයන නිසා අපි වැඩි විදුලි උපකරණ ප්‍රමාණයක් මේ විදියට සවිකල විට වැඩි විදුලි ධාරාවක් විදුලි සැපයුමෙන් ලබාගන්නවා. ඒනිසා අපි පරිපථයට දරාගත හැකි ප්‍රමාණයට පමණක් උපකරණ සම්බන්ධ කිරීමට අපි වගබලාගත යුතුයි.

ඉතින් ඔය 'මල්ටි ප්ලග්'(Multi Plug) වගේ දේවල් පාවිච්චී කරලා ඒකට අපි තියෙන තරම්ම විදුලි උපකරණ සම්බන්ධ කරන අවස්ථා තියෙනවා නේද? එතකොට ඒ උපකරණත් අපි මල්ටි ප්ලග් එකට සවිකරන්නේ 'සමාන්තරගත' ආකාරයටම තමා. එතකොට අපි ඒකට සවිකරන එක් එක් උපාංගයට අවශ්‍ය කරන මුළු ධාරාව මල්ටි ප්ලග් එකෙන් ගන්නකොට, ඒකට දරාගන්න බැරිවුනොත් පරිපථයේ දුර්වල තැනින් Short වෙලා ගිනිගන්න  ඉඩකඩ තියෙනවා. ඒනිසා අපි අපේ හිතුමතේට තියෙන තරම්ම උපකරණ මල්ටි ප්ලග් වලට සවිකරන්න යන්න හොද නෑ කියන එකත් මතක තියාගන්න..


ඉහත රූපයෙන් ඔයාලට දැකගන්න පුළුවන් 12V 500mAක විදුලියක් අවශ්‍ය බල්බ 3ක් සමාන්තරගතව 12V විදුලි සැපයුමකට සම්බන්ධ කර ඇති ආකාරය..
මෙහිදි 12V සැපයුමෙන් ලැබෙන වෝල්ටීයතාවය බල්බ අතර බෙදීනොයා, සෑම බල්බයක් වෙතම සමාන වෝල්ටීයතාවයක් ලැබෙනවා. ඒකියන්නේ 12Vක් පමණ වෝල්ටීයතාවයක් සෑම බල්බයක් සදහාම ලැබෙනවා කියන එකයි.

නමුත් මෙහි ඇති බල්බයක් දැල්වීමට අවශ්‍ය විදුලි ධාරා ප්‍රමාණය වෙන්නේ 500mAයි. ඒත් සෑම බල්බයකටම අවශ්‍ය වන පරිදි ධාරාව බෙදීයන නිසා, මෙම බල්බ 3ට අවශ්‍ය මුළු ධාරාව ලෙස 1500mA (1.5A)ක පමණ ධාරාවක් විදුලි සැපයුමෙන් ලබාගන්නවා. 
ඒකියන්නේ 500mA බල්බ 3ට, එක් බල්බයකට 500mA වන පරිදි 1500mAක ධාරාවක් විදුලි සැපයුමෙන් ලබාගන්නවා කියන එකයි. එතකොට අපි මේකට බල්බ 4ක් සවිකෙරුවා නම්, 2000mA (2A)ක පමණ ධාරාවක් විදුලි සැපයුමෙන් ලබාගන්නවා. ඒනිසා මේ ක්‍රමයට විදුලි උපකරණ සම්බන්ධ කිරීමේදී විදුලි ධාරාව බෙදීයන අතර, වෝල්ටීයතාව බෙදීනොයන බව අප සිහිතබාගත යුතුයි..

ඒවගේම මේ ආකාරයට 'සමාන්තරගතව' උපකරණ සම්බන්ධ කිරීමේදි, ඒවා එකම ධාරා ප්‍රමාණයන් ලබාගන්නා උපකරණ වීම අවශ්‍ය වන්නේ නෑ. මොකද එක් එක් උපාංගයට අවශ්‍ය ධාරාව වෙන වෙනම විදුලි සැපයුමෙන් ලබාගන්නවනේ. නමුත් මේ විදියට සවිකරන උපකරණ වල වෝල්ටීයතාවය එක සමාන වෙනවනම් හොදයි. නැතිනම් අඩු වෝල්ටීයතාවයකින් ක්‍රියාකරන උපකරණයක් වැඩි වෝල්ටියතායකින් ක්‍රියාකරන උපකරණ අතරට සවිකල විට, අඩු වෝල්ටීයතාවයක් අවශ්‍ය උපකරණය විනාශ වීයාමට ඉඩකඩ තියෙනවා.......... 

නිදසුනක්:- විදියට අපි හිතමු අපේ ගෙදර ගැන. එතන අපි පාවිච්චි කරන උපකරණ සියල්ලක්ම පාහේ සවිකරන්නේ සමාන්තරගත ආකාරයටයි. එතකොට ඒ සෑම උපකරණයකටම ලැබෙන සැපයුම් වෝල්ටීයතාවය වෙන්නේ 230V. නමුත් එක් එක් උපකරණයට අවශ්‍ය කරන විදුලි ධාරා ප්‍රමාණය වෙනස් වෙනවා. මොකද ශීතකරණයට වැඩි විදුලි ධාරාවක් වැයවෙන අතර සාමාන්‍ය CFL විදුලි බුබුලකට වැයවෙන්නේ අඩු විදුලි ධාරාවක්නේ. 

ඉතින් ඔය විදියට 230V වලින් වැඩකරන උපකරණ අතරට අපි 115V වලින් වැඩකරන උපකරණයක් සවිකල විට එය විනාශ යන්නට පුළුවන්.. 
ඒත් අපේ රටේ, අපේ ගෙවල් වලට හරියටම 230Vක විදුලි සැපයුමක් හැමවෙලේම එනවද කියලා අපිටම ස්ථීර නෑ. මොකද කොයි වෙලේ බැලුවත් අඩු වෝල්ටීයතාවයක්නේ ලැබෙන්නේ. හැබැයි එතකොටනම් 115Vක ‍වෝල්ටීයතාවයෙන් වැඩකරන උපකරණයක් තිබ්බොත් ඒක නම් වැඩකරයි නේ.....!!!!!!!!!! (හි .හි .හි...)

හරි එහෙනම් 'සමාන්තරගත සම්බන්ධය' ගැන බොහෝ කරුණු දැන් කතාකලානේ. ඉතින් ඒනිසා දැන් අපි "සමාන්තරගතව විදුලි කෝෂ සම්බන්ධ කරන ආකාරය" ගැන කතාකරමු.

සමාන්තරගතව කෝෂ සම්බන්ධ කිරීම (Parallel Battery)

විදුලි කෝෂ එකිනෙකට සවිකරන ආකාර 2ක් තියෙනවා කියලා මං කලින් ලිපියෙන් ඕගොල්ලන්ට කිවුවනේ. ඒකෙදි  මං 'ශ්‍රේණිගතව කෝෂ සම්බන්ධ කරන ආකාරය' ගැනත් පැහැදිලි කලානේ. ඒනිසා අද මං කතාකරන්න යන්නේ "විදුලි කෝෂ සමාන්තරගතව සම්බන්ධ කරන ආකාරය" පිළිබදවයි. එහෙනම් දැන් අපි ඒගැන කතාකරමු.
ඉහත රූපයේ දැක්වෙන ආකාරයට කෝෂ වල (+)ධන අග්‍ර සියල්ල එක් පසෙකටත්, (-)ඍණ අග්‍ර සියල්ල අනෙක්පසටත් සවිකිරීම තමා අපි "කෝෂ සමාන්තරගතව" සම්බන්ධ කරනවා කියලා කියන්නේ.
ඉතින් මේ ආකාරයට අපි එක සමාන වෝල්ටීයතාවයක් ඇති කෝෂ කිහිපයක් සවිකරනවානම්, අපිට ලැබෙන්නේ ඒ ඇති එක් කෝෂයකින් ලැබෙන වෝල්ටීයතාවයට සමාන වෝල්ටීයතාවයක් පමණයි. ඒනිසා මේ ආකාරයට පමණක් කෝෂ සම්බන්ධ කල බැටරියකින් අපිට වැඩි වෝල්ටීයතාවක් ලබගැනීමට නොහැකි වෙනවා.

නමුත් මේ විදියට කෝෂ සවිකල බැටරියකින් අපිට වැඩි විදුලි ධාරාවක් ලබාගන්න පුළුවන්. මොකද මේ විදියට සමාන්තරගත ආකාරයට කෝෂ සවිකල විට එම එක් එක් කෝෂයේ ඇති විද්‍යුත් ධාරිතා ප්‍රමාණය එකට එකතු වී, අවසාන වශයෙන් අපිට වැඩි විදුලි ධාරාවක් ලබාගන්න පුළුවන් වෙනවා...

නිදසුන්..

අපි හිතමු 12Vක වෝල්ටීයතාවයක් හා 400Ahක ධාරිතාවක් ඇති බැටරි 2ක් සමාන්තරගත ආකාරයට සවිකලා කියලා, එතකොට අපිට ඒ බැටරියෙන් මුළු වෝල්ටීයතාවය ලෙස ලැබෙන්නේ 12Vක පමණ වෝල්ටීයතාවයක් විතරයි. නමුත් අපි ඒ බැටරියට යොදාගත් 400Ahයේ කෝෂ දෙකෙහි ධාරිතාවේහි එකතුවෙන්, එම බැටරියේ මුළු ධාරිතාව විදියට අපිට 800Ahක පමන වැඩි ධාරිතාවක් ලැබෙනවා..

ඉතින් මේ විදියට 'සමාන්තරගත ආකාරයටත්', කලින් ලිපියෙන් මම කියු 'ශ්‍රේණිගත ආකාරයටත්' කෝෂ සවිකිරීමේදී අපිට විවිධ වාසි හා අවාසි ලැබෙනවා. ඒනිසා මෙම ආකාර දෙකම භාවිතා කරලා කලින් අපි කතාකරපු කෝෂ සම්බන්ධ කරන ආකාර දෙකේ තිබූ ගුණ උපයෝගි කරගෙන වැඩි ධාරිතාවක් හා වැඩි වෝල්ටීයතවක් ලබාගත හැකි කෝෂ අද වන විට නිපදවා තිබෙනවා. 
පහතින් දැක්වෙන ආකාරයට ශ්‍රේණිගතව සවිකල කෝෂ කිහිපයක්, තවත් එවැනිම කෝෂ කිහිපයකට සමාන්තරගතව සම්බන්ධ කිරීමෙන් තමා මේ විදියට කෝෂ සාදාගන්නේ.
24V හා 800Ah ලැබෙන පරිදි සකස් කල බැටරියක්
2.4V හා 2000mAh (2Ah) ලැබෙන පරිදි සකස් කල බැටරියක්
ඉහත දැක්වු ආකාරයටම විදුලි බල්බ සවිකිරීමේදිත් සමාන්තරගත හා ශ්‍රේණිගත යන ආකාර දෙකම භාවිතා කිරීමෙන් විදුලිය අරපිරිමසා ගැනීම හා වැඩි ආලෝකයක් ලබාගැනීම යනාදී දේවල් සිදුකරගත හැකි බවත් මතක තබාගන්න. 

එවගේම මේ ශ්‍රේණිගත හා සමාන්තරගත යන උපාංග සම්බන්ධ කරන ආකාර දෙක බල්බ හා විදුලි කෝෂවලට පමණක් අදාල වෙන්නේ නෑ. ඒක ඕනෑම විදුලි උපකරණයකට අදාලයි..

ඉතින් මේ විදියට සමාන්තරගත හා ශ්‍රේණිගතව උපාංග සවිකිරීම ගැන ගොඩක් දේවල් කතාකලානේ. එහෙනම් ඉතින් අදට නියමිත ලිපිය නම් ඉවරයි.
මේගැන ඕගොල්ලන්ගේ අදහස්, යෝජනා, චෝදනා Comment එකකින් දක්වලා මාව දිරිමත්කරලම යන්නකෝ....!

🔰 කතෘ අයිතිය : Electronic පන්තිය
තවත් ඔබට වැදගත් ලිපියකින් නැවත හමුවෙමු.
එතෙක් ඔබට සුභ දවසක්..!
Electronic ලෝකයේ🌏 දැනුම බෙදාගන්න එන්න අපත් සමග එකතුවෙන්න.!!❤
මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා චෝදනා, සහ අඩුපාඩු comment හරහා යොමු කරන්න අමතක කරන්න එපා.

Post a Comment

2 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.
Join the conversation(2)