ඩිජිටල් ඉලෙක්ට්‍රොනික් හා ඇනලොග් ඉලෙක්ට්‍රොනික් ගැන දැනගනිමු. (Digital & Analog)

කොහොමද යාළුවනේ..!

දැන් අවාරෙට පොල් වැටෙනවා වගේනෙ Blog එකේ Post එකක් වැටෙන්නෙත්, මොකද ඉතින් මේ දවස්වල නම් ටිකක් වැඩ වැඩියි. ඒනිසා අළුත් post එකක් දාන්න පරක්කු වෙයි. ඒත් එහෙම කියලා යාළුවෝ අපිව අමතක කරන්න එපා.. Comment එකක් එහෙම දාලා පොඩි දිරිමත් කිරීමකුත් කරන්න.
හරි හරි වැඩිකතා නැතුව අද පාඩමට සම්බන්ධවෙමුකෝ..

කලින් ලිපියකින් මං ඕගොල්ලන්ට ඉලෙක්ට්‍රොනික් හා ඉලෙක්ට්‍රිකල් පිළිබදව හැදින්වීමක් කලානේ. එහිදි මං කිවුවා ඉලෙක්ට්‍රොනික් කියන්නේ විදුලිය, විද්‍යුත් සංඥා (Electronic Signal) බවට හරවා භාවිතා කරන තාක්ෂණයක් කියලා. ඇත්තටම ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය පදනම් වී ඇත්තේ විද්‍යූත් සංඥා මතයි. එහිදි අපි භාවිතා කරන විද්‍යුත් සංඥා වර්ගය මත ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය කොටස් 2කට බෙදෙනවා..

1)ඇනලොග් ඉලෙක්ට්‍රොනික් (Analog Electronic)
2)ඩිජිටල් ඉලෙක්ට්‍රොනික් (Digital Electronic)

දැන් අපි මේ තාක්ෂණික ප්‍රභේද 2ක ගැන වෙන වෙනම සාකච්ජා කරමු.



ඇනලොග් ඉලෙක්ට්‍රොනික් (Analog Electronic)

"ඇනලොග් ඉලෙක්ට්‍රොනික්" කියන නම සමහර අය අහලත් නැතුව ඇති. ඉලෙක්ට්‍රොනික් තාක්ෂණයේ මුල් යුගයේදි තමා මේ ඇනලොග් ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය බහුලවම භාවිතාවුනේ. නමුත් අදටත් මේ ඇනලොග් ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය භාවිතා වෙනවා කියන එකත් ඕගොල්ලො මතක තියාගන්න..
ඇනලොග් ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය පදනම් වී ඇත්තේ ඇනලොග් සංඥා (Analog Signal) නැතිනම්, සිංහලෙන් කියනවනම් "ප්‍රතිසම සංඥා" මතයි.

"ප්‍රතිසම සංඥාවක් කියන්නේ උපරිම හා අවම අගයන් 2ක් අතර අනන්ත ආකාරයෙන් වෙනස්විය හැකි සංඥාවකටයි."
එනම් ප්‍රතිසම සංඥාවේ උපරිම හා අවම අගයන් 2ක අතර ඇති පියවර ප්‍රමාණයන් ගණන අපිට නිශ්චිතවම ගණනය කරගන්න අපහසුයි..

තවද අප ජීවත්වන පරිසරයේදි (ස්වභාවික පරිසරයේදී) දැකගන්න ලැබෙන්නෙත් මෙම ප්‍රතිසම ආකාරයේ සංඥා පමණයි.

උදා:-මිනිස් කටහඬ ආදි විව්ධ ශබ්දයන්
      පරිසරයේ ඇති උෂ්ණත්වයේ වෙනස්වීම්
      ආලෝකයේ ත්‍රීවරතාවය

එවගේම ඉලෙක්ට්‍රොනික් පරිපථයක ප්‍රතිසම සංඥා (Analog Signal) ක්‍රියාත්මක වෙන්නේ, බල සැපයුමෙන් (Power Supply) ලැබෙන උපරිම හා අවම වෝල්ටීයතා අගයන් මතයි.. 

උදා:- පරිපථයකට අපි 12V සැපයුමක් දෙනවානම්, එම පරිපථය තුල  0V හා 12V අගයන් 2ක අතර අනන්ත ප්‍රමාණයේ වෝල්ටීයතා මට්ටම් ඇතිකරගන්නට පුළුවන්. ඒවා තුලින් තමා ප්‍රතිසම සංඥා (Analog) නිපදවන්නේ.

ඉතින් මේ විදියට ප්‍රතිසම විද්‍යුත් සංඥා මත පදනම් වී ඇති ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය අපි "ඇනලොග් ඉලෙක්ට්‍රොනික්" ලෙසින් හදුන්වනු ලබනවා.

එවගේම මේ විදියට ප්‍රතිසම සංඥා මගින් ක්‍රියාකරන "ඇනලොග් පරිපථ" ගොඩනැගීමට, අපි ට්‍රාන්සිස්ටර්,රෙසිස්ටර්,කැපෑසිටර්,ඉන්ඩක්ටර්,ස්විච,ඩයෝඩ,Analog IC ආදී විවිධ වර්ගයේ ඇනලොග් උපාංග භාවිතාකරනවා. එම නිසා මෙම ඇනලොග් ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය පදනම් කරගෙන සාදා ඇති උපකරන අපි "ප්‍රතිසම උපකරණ" (Analog Divices) ලෙසින් හදුන්වනු ලබනවා.

උදා:-ප්‍රතිසම ඔරලෝසුව(Analog Clock)
ප්‍රතිසම බහුමානය(Analog Multimeter)
ප්‍රතිසම රේඩියෝව(Analog Radio)


ඩිජිටල් ඉලෙක්ට්‍රොනික් (Digital Electronic)

"ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්" කියන නම නම් ඕගොල්ලෝ හැමෝම වගේ අහලා ඇති. මොකද වර්ථමානයේ ජනප්‍රියම තාක්ෂණය වෙලා තියෙන්නෙ මේ ඩිජිට්ල් ඉලෙක්ට්‍රොනික් තාක්ෂණයනේ.

ඉතින් මේ ඩිජිටල් ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය පදනම් වී ඇත්තේ ඩිජිටල් සංඥා (Digital Signal) නැතිනම්, සිංහලෙන් කියනවනම් "අංකිත සංඥා" මතයි (සංඛ්‍යාංක සංඥා කියලත් කියනවා.)

"අංකිත සංඥාවක් (Digital Signal) කියන්නේ උපරිම හා අවම අගයන් 2ක් අතර නිශ්චිත පියවර ප්‍රමාණයක් නැතිනම්, මට්ටම් ප්‍රමාණයක් ඇති සංඥාවකටයි."
එනම් අංකිත සංඥාවේ උපරිම හා අවම අගයන් 2ක අතර ඇති පියවර ප්‍රමාණයන් අපිට නිශ්චිතවම ගණනය කරගන්නට පුළුවන්.

නමුත් ඩිජිටල් ඉලෙක්ට්‍රොනික් වලදි පියවර නැතිනම්, මට්ටම් විශාල ප්‍රමාණයක් ඇති අංකිත සංඥා භාවිතාවන්නේ නෑ. මොකද එහෙම කලොත් පරිපථ ඉතා සංකීර්ණ වෙනවා. ඒනිසා අංකිත සංඥා වල ඇති සරලම අවස්ථාව වන, උපරිම හා අවම අගය වශයෙන්පියවර 2ක් පමණක් ඇති අංකිත සංඥාව මේ සදහා යොදාගනු ලබනවා.

මෙම අංකිත සංඥාවේ උපරිම අගය  "1" ලෙසත් අවම අගය "0" ලෙසත් අපි නම්කරනු ලබනවා. අපි එහෙම කරන්නේ ගණනයන් කිරීමේ ඇති පහසුව නිසයි. මොකද එතකොට අපිට මේසදහා "ද්වීමය සංඛ්‍යා" (Bianary Digit) භාවිතාකර අවශ්‍ය ගණනය කිරීම් සිදුකරගන්නට පුළුවන්නේ..

හැබැයි මේ "අංකිත සංඥා" අප ජීවත්වන පරිසරයේදී (ස්වභාවික පරිසරයේදී) දැකගන්නට ඇත්තෙම නැති තරම්, නමුත් මිනිසා  විසින් වර්ථමානයේදි නිපදවන සෑම ඉලෙක්ට්‍රොනික උපකරණයකම පාහේ මෙම අංකිත සංඥා අන්තර්ගතවෙනවා.

උදා:- පරිගණකය
      ජංගම දුරකථනය
      ඩිජිටල් සන්නිවේදන ක්‍රම

ඉතින් මේ ඩිජිටල් උපකරණවල අංකිත සංඥා ඇතිවන්නේ එම පරිපථයට ලබාදෙන බල සැපයුමේ ඇති උපරිම හා අවම වෝල්ටීයතා මට්ටම් 2ක පදනම් කරගෙනයි..
බොහෝවිට ඩිජිටල් පරිපථයක අංකිත සංඥා නිපදවීමට 5Vක පමණ වෝල්ටියතාවක් භාවිතාකරනවා. එහිදි 5Vක වෝල්ටීයතාව අංකිත සංඥාවේ "1" ලෙසද, 0Vක වෝල්ටීයතාව අංකිත සංඥාවේ "0" ද නිරූපනය කරනවා.

(ප්‍රායෝගිකව අංකිත සංඥා නිරූපනයේදි)
"0" නිරූපනයට=0V - 0.8V දක්වා වෝල්ටියතාවයකුත්
"1"නිරූපණයට=2.4V - 5V දක්වා වෝල්ටියතාවයකුත්
භාවිතාකරනවා..

ඉතින් මේ විදියට අංකිත සංඥා (Digital Signal) මත පදනම් වී ඇති ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය අපි "ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්" (Digital Electronic) ලෙසින් හදුන්වනු ලබනවා.

එවගේම මේ විදියට අංකිත සංඥා මගින් ක්‍රියාකරන "ඩිජිටල් පරිපථ" ගොඩනැගීමට අපි කතාකරපු ඇනලොග් උපාංගත් භාවිතාකරන අතර, ඩිජිටල් ඉලෙක්ට්‍රොනික් සදහාම විශේෂවූ උපාංග කිහිපයක්ද පවතිනවා. ඒවා නම්,

ගේට්(Logic Gate)
ෆ්ලිප්- ෆ්ලොප්(Flip-Flop)
රෙජිස්ටර්(Regidter)
රොම්(ROM)
රැම්(RAM)
මල්ටිප්ලෙක්සර්(Muliplexer)
කවුන්ටර්(Counter)
මයික්‍රෝකොන්ට්‍රෝලර්(Microcontroller)

ආදී විව්ධාකාරවු ඩිජිටල් උපාංග පතිනවා. නමුත් මේ සෑම "ඩිජිටල් උපාංගයක්ම" අපට මිලදීගැනීමට ඇත්තේ IC ස්වරූපයනුයි. තවද මේ සෑම "ඩිජිටල් උපාංගයක්ම" සෑදී ඇත්තේද පෙරදි සදහන් කල ට්‍රාන්සිස්ටර්,රෙසිස්ටර්,.. ආදී "ඇනලොග්  උපාංග" වලින්මයි. එවගේම වර්ථමානයේදි මයික්‍රෝකොන්ට්‍රෝලර යොදා සාදන ඩිජිටල් පරිපථ ක්‍රමලේඛණය (Programming) කර භාවිතයට ගැනීමටද හැකියාව පවතිනවා.

ඉතින් මේවිදියට ඩිජිටල් ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය පදනම් කරගෙන නිපදවා ඇති උපකරණ අපි "ඩිජිටල් උපකරණ" (Digital Device) ලෙසින් හදුන්වනු ලබනවා.

උදා:- පරිගණකය(Computer)
ඩිජිටල් කැමරාව(Digital camera)
ඩිජිටල් ඔරලෝසුව(Digital Clock)
ඩිජිටල් බහුමානය(Digital Multimeter)
ජංගම දුරකථනය(Mobile Phone)

වැදගත්...!

"ඉගෙනීමේ පහසුව සදහා මෙම ඇනලොග් ඉලෙක්ට්‍රොනික් හා ඩිජිටල් ඉලෙක්ට්‍රොනික් වෙන වෙනම ඉගෙනගත්තත්, ප්‍රායෝගික භාවිතයේදී මේ දෙකම එකට භාවිතාකරන්න සිදුවෙනවා. ඒනිසා මේ තාක්ෂණික ප්‍රභේද 2කම ගැන මූලික දැනුමක්වත් තිබීම අත්‍යවශ්‍ය වෙනවා."
එහෙනම් අද ලිපිය අවසානයි..
තවත් ලිපියකින් නැවත හමුවෙමු..
Previous
Next Post »

2 comments

Click here for comments
SL
admin
October 12, 2016 at 1:45 PM ×

නියම වැඩක් Videos කරන්නකෝ
ඔයාට පුළුවන්.මේවගේ වටින දේවල් කියවලා තෙරුම් ගන්න අමාරු අය ගොඩක් ඉන්නවනෙ ඒ අය වෙනුවෙන්

Reply
avatar
October 7, 2017 at 4:39 PM ×

ඉතා වැදගත්

Reply
avatar
Related Posts Plugin for WordPress, Blogger...