පරිපථ පුවරුවල පරිණාමය (Circuit Board Evolution)

කොහොමද යාළුවනේ..!!

ඔන්න ඉතින් 2016 අලුත් අවුරුද්දේ දාන මුල්ම Post එක තමා අද දාන්නේ, මොකද කලින් දවස් ටිකේ බ්ලොග් එකෙත් පොඩි අවුලක් ගියානේ..
හරි හරි ඒවා වැඩක් නෑ. වැඩිකතා නැතිව අද පාඩමට සෙට්වෙමුකෝ.
ඉතින් අද Post එකෙන් මම කතාකරන්න බලාපොරොත්තුවෙන්නේ අතීතයේ සිට අද දක්වා පරිපථ පුවරුවල විකාශණය පිළිබදවයි. එහෙනම් දැන් අපි ඒගැන කතාකරමු..


Point To Point


උඩ තියෙන පින්තූරේ දැක්කම ඕගොල්ලන්ට මොකද හිතෙන්නෙ.. අවුල් ජාලයක් වගේ නේද. ඉලෙක්ට්‍රොනික් තාක්ෂණයේ ආරම්භක අවදියේදි, එම ඉලෙක්ට්‍රොනික උපාංගයන් ක්‍රමාණුකූලව එකිනෙක සම්බන්ධ කිරීමක් සිදුකලේ නෑ. එම නිසා වයර් හෝ කම්බි කැබලි වැනි සන්නායක ද්‍රව්‍යවලින් තමා ඉලෙක්ට්‍රොනික උපාංග එකිනෙක සම්බන්ධ කිරීම සිදුවුනේ. ඒකියන්නේ, එක් අග්‍රයකින් තවත් අග්‍රයක් කරා යන ආකාරයට වයර් වලින් තමා එම උපාංග එකිනෙක සම්බන්ධ කිරීම සිදුවුනේ. එනම් "එක් ලක්ෂකින් තවත් ලක්ෂයක් කරායි." එම නිසයි මෙම ආකාරයට පරිපථ සෑදීමට "Point To Pont" කියන නම ලැබුනේ..

නමුත් මෙම ආකාරයෙන් සංකීර්ණ පරිපථ සාදන විට ඒවායේ ඇතිවන දෝෂ සොයාගැනීම ඉතා අපහසු කටයුත්තක් වුනා. මොකද මේවිදියට වයර් පැටලිලා තියෙනකොට ඔළුවත් අවුල්වෙනවනේ. නමුත් අදටත් ආධුනික මට්ටමේ අය මෙම ආකාරයෙන් සරල මට්ටමේ පරිපථ නිර්මාණය කරනු ලබනවා.
කෙසේවෙතත් මෙහි තිබූ අඩුපාඩු මඟහරවා ගැනීම සදහා තමා "PCB" යන සංකල්පය බිහිවුනේ. දැන් අපි ඒ පිළිබදව කතාකරමු..


PCB (Printed Circuit Board)

දෙවන ලෝක යුධ සමයේදි මුල්වරට හදුන්වාදුන් මෙම PCB තාක්ෂණය නිසා, පෙර පැවති Point To Point නමැති ක්‍රමයේ තිබූ අඩුපාඩු රැසක් මඟහැරී ගියා.
මෙම ක්‍රමයේදී සිදුකරන්නේ ප්ලාස්ටික් වැනි පරිවාරක තහඩුවක් මත විදුලිය ගමන්කල හැකි පරිදි තඹ සන්නායක කොටස් ස්ථාපනය කිරීමකි. මෙහිදි පරිපථ පුවරුවේ ඇති තඹ තීරු අපට මුද්‍රණය කර ඇති ආකාරයට පෙනෙන නිසා, අපි මෙම පරිපථ පුවරු විශේෂයට "මුද්‍රිත පරිපථ පුවරු" (Printed Circuit Board -PCB) කියා හදුන්වනු ලබනවා.
Copper Clad Board
ඉතින් මෙම ක්‍රමයට PCB බෝඩ් නිපදවීමට "Copper Clad Board" නම් විශේෂිත තඹ පුවරුවක් භාවිතාකරනවා.

මුලින්ම අපි මෙම Copper Clad පුවරුව මත, ජලය තුල දියනොවන තීන්ත වර්ගයක් භාවිතාකර අපට අවශ්‍ය පරිපථ සටහන (Circuit Diagram) ඇදගනු ලබනවා.
ඉන්පසු එම ඇදගත් පරිපථ සටහන සහිත බෝර්ඩ් එක මත අවශ්‍ය පරිදි සිදුරු ඇතිකර, බෝර්ඩ් එක 'ෆෙරික් ක්ලෝරයිඩ්' (ferric chlorideද්‍රාවණයක් තුල ගිල්වා තබනවා.
එයින් අප ඇදගත් පරිපථ සටහන හැර අනිත් සියළුම තඹ කොටස් දියවීයනවා. අවසානයේදි අප ආලේප කල තීන්ත විශේෂය "තිනර්" වැනි දියරයක් මගින් ඉවත්කර පිරිසිදුකර අපට අවශ්‍ය පරිදි භාවිතයට ගනු ලබනවා.

ඔන්න ඔය විදියටයි PCB බෝර්ඩ් එකක් හදාගන්නේ.
ඉතින් මෙම PCB පුවරු ප්‍රධාන වශයෙන් කොටස් 3කට බෙදනු ලබනවා.

1.Single Layer PCB
2.Double Layer PCB
3.Multilayer PCB

දැන් අපි මෙම PCB වර්ග පිළිබදව වෙන වෙනම සාකච්ජා කරමු.

1.Single Layer PCB

මෙම වර්ගයේ පරිපථ පුවරුවල එක් පැත්තක පමණක් තඹ තීරු දක්නට ඇති අතර, අනෙක් පැත්තේ පුවරුවට යොදන උපාංග පිළිබද විස්තර හා සංකේත ඇතුලත් වේ..
බොහෝවිට මෙම ආකාරයේ පරිපථ පුවරු භාවිතාවන්නේ තරමක් සරල පරිපථ ගොඩනැගීම සදහායි. එවගේම බොහෝවිට මෙම පරිපථ ගොඩනැගීමට අප යොදාගන්නේ "PTH" ආකාරයේ උපාංගයන් පමණයි..


2.Double Layer PCB

මෙම වර්ගයේ පරිපථ පුවරුවල දෙපසම තඹ තීරු දක්නට ඇති අතර, දෙපසම  පුවරුවට සම්බන්ධ වන උපාංග පිළිබද විස්තර හා සංකේත අඩංගු වේ.
සාමාන්‍යයෙන් මෙම පරිපථ පුවරු භාවිතා වන්නේ තරමක් සංකීර්ණ පරිපථ ගොඩනැගීම සදහා වේ. එවගේම මේ සදහා SMD හා PTH යන දෙආකාරයේම උපාංග පහසුවෙන් භාවිතා කල හැකිවේ.


3.Multilayer PCB

මෙම වර්ගයේ පරිපථ පුවරුවල, පුවරුවේ දෙපස මෙන්ම අභ්‍යන්තරයේද තඹ තීරු සහිත ස්ථර කිහිපයකිනුයි  සකස් කර තිබෙන්නේ.
සාමාන්‍යයෙන් මෙම පරිපථ පුවරු භාවිතාවන්නේ. ඉතා සංකීර්ණ පරිපථ ගොඩනැගීම සදහායි. එවගේම මෙම පරිපථ පුවරු සදහා බහුලව SMD ආකාරයේ උපාංග භාවිතාවන අතර, PTH ආකාරයේ උපාංගයන්ද භාවිතාවේ. එවගේම මෙම පරිපථ සම්පූර්ණයෙන්ම වාගේ යන්ත්‍රාණුසාරයෙන් නිපදවීම සිදුකරයි.

ඉතින් මෙම ආකාරයෙන් නිපදවන පරිපථ වර්ග තමා ජංගම දුරකථන,පරිගණක උපාංග වැනි සංකීර්ණ උපකරණ වල අන්තර්ගත වෙන්නේ..

:-අන්තර්ජාලය ඇසුරෙනි.

තවත් ලිපියකින් නැවත හමුවෙමු..! 
Previous
Next Post »
Related Posts Plugin for WordPress, Blogger...